සුමින්ද කිත්සිරි ගුණරත්න නම් පැණසර මිනිසා නික්ම ගොසිනි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජනසන්නිවේදන අධ්‍යයනාංශයෙන් බිහිවූ විද්‍යාර්ථීන් රාශිය අතුරින් සුමින්දගේ නික්ම යාම විශේෂ වන්නේ මන්දැයි මම මදක් නැවතී කල්පනා කළා.
ඔහු මගේ මතකයේ රැඳී සිටින්නේ ඇයි?
90 දශයේ අගභාගයේ විශ්වවිද්‍යාලයට පැමිණෙන සිසුන් අතර රෙදිවලින් මැසූ බෑගයක් උරෙහි දා ඇවිදින තරුණයා මගේ මතකයට පිවිසෙනවා.
ඔහු ටිකක් හිතුවක්කාර කවියකු බව මද ඇසුරකින් වැටහෙනවා
චක්කරං කොටුවෙන් අරඹන ඔහුගේ කවි දිවිය ඔහු විශ්වවිද්‍යාලයේ චක්කරං බවට පත්කළා.
කෙතරම් කෙළිලොල් තරුණයකු වුවත් ඔහු කවිය අත හැරියේ නැහැ.
එක් වසරක විමලරත්න කුමාරගම සම්මානයෙන් පිදුම් ලද නල මුදු සුවඳෙහි ජයගත් කවියා වුණේ සුමින්ද.
ඒක සුමින්දගේ කවි මග සුන්දර කළා.
චක්කරං කොටුවෙන් ඇරඹි කවි ගමන ඇහැළි, නාරජ වේරජ, ලංකා පොකුණ, ප්‍රිස්ම පහුකරමින් ලුම්බිණි නම් ආඛ්‍යාන කාව්‍යය තෙක් ආ සුමින්දගේ කවි ගමන කිසියම් විද්යාර්ථීයකුට අධ්‍යයනය කිරීමට යෝජනා කළා මට මතකයි.
එහෙත් එය සිදුවූයේ නැහැ.
ඔහුගේ කවිය පිළිබඳව සැබෑ ඇගැයීමක් වුණේ නැති බව අදටත් මට හිතෙනවා,
නව කවීන් බොහෝ දෙනෙකුට අසු නොවුණු තේමාත්මක ගැඹුරින් යුතු තැන් කවිකම නොමරා නව්‍ය ස්වරූපයකින් ගේන්න සුමින්දට ලොකු හපන් කමක් තිබුණා.
ඒවා ඕලාරික වුණේ නැහැ.
ඔහුගේ ජීවිතයේ එක් පැත්තක තිබුණු සෞන්දර්ය ඒ නිර්මාණවලත් තිබුණා. මට මතකයි.
පසු කාලීනව
ජී.බී සේනානායක කවි, ආරියවංශ පතිරාජයන්ගේ කාර්යසාධනය වැනි අධ්‍යයන මගින් ශාස්ත්‍රීය ලේඛන විමර්ශනයට අතපොත තැබූ සුමින්දගේ මේ ලේඛන රුච්ය මානවවංශ අධ්‍යයන කෙරෙහි විතැන් වන්නට ඇත්තේ ඔහු
එවකට යොමුව සිටි වෘත්තිය හා සම්බන්ධ ව විය හැකි යි.
සුමින්ද සංස්කෘතියේ අහු මුළු අවුස්සන්නට පටන් ගත්තා,
අළුත් ආරකින්.
ඔහු එවකට උපයාගෙන සිටි ඔහුගේ පාඨක කැල, අපත් ඇතුළුව විස්මයට පත්කිරීමට එම නව මානයේ පර්යේෂණවලට හැකිවුණා.
ඔය කාල වකවානුවේ අපේ ප්‍රණීත් සර් සමග ඔහුගේ දර්ශනපති උපාධියත් අවසන් කළා.
වේදනාවක් තිබෙනවා දැන් අතිමහත්.
ඔහුගේ දර්ශනසූරී නිබන්ධය සංස්කරණ මට්ටමේ තිබියදී ඔහුගේ දිවිකුසුම පරවීම පිළිබඳව.
මහගම සේකරයන්ගේ පර්යේෂණ නිබන්ධයට මෙන් ඔහුගේ එම නිබන්ධයටත් දර්ශනසූරී උපාධිය පිරිනමන්ට හැකි දැයි මේ මොහොතේ මට නිකමට සිතුනා.
අප ඉල්ලීම් වෙනුවෙන් දුර බැහැර පාසල්වලට ගොස් ඔබ ලද දැනුම් සම්භාරය බෙදා දී කරන ලද පින්කම්, ශාස්ත්‍රීය දේශන රාශිය ද සිහිපත් කරන්නම්.
ඉතින් සුමින්ද ඔබ රැකියාවට ගොස් එන සමහර දවසක, සවසක තේ උගුරක් පානය කරමින් කරන ලද ශාස්ත්‍රීය සංවාද කතාවල රස මතක සිහි කරමි.
ඔබ අප සියලු දෙනා හා බැඳුණු දශක තුනක විතර දීර්ඝ කාලයක, සුඛ, දුක්ඛ මතකයන් පමණක් ඉතිරි කරගනිමි.
ඔබගේ ජීවිතය පිළිබඳ ව අපට ප්‍රාර්ථනා කිරීමට කිසිවක් ඔබ
ඉතිරි නොකළ බව අවසන් වශයෙන් දැඩිව විශ්වාස කරමි.